Archive for July, 2018

ඇයත් මවක්

Posted: July 25, 2018 in Uncategorized

 

මෙය මාගේ මව ගැන නොවේ. එය මා ඔබට මුලින්ම පැවසිය යුතුය.
එක්තරා දිනයක මාගේ මිතුරෙකුගේ නිවසට ගොඩවු විට ඔහුගේ මවගේ හැසිරීම මා නෙත ගැටුනේ අහම්බයෙනි.
සමාජයේ කිසිවෙකුගෙන් කතාවක් නොඇසෙන පරිදි ඇය තම දරුවන් තිදෙනා උස්මහත් කර රටට වැඩදායි පුද්ගලයින් බවට පත්කොට තිබේ.දීග ගොස් ගම රට අතහැර කොළඹ පදිංචියට පැමිණි තම දරුවන් නැති පාලුව ඇයට දැනෙනු ඇතැයි මට හැගිනි.එහෙත් නිවාඩුවකට මහගෙදරට එන දරුවන් සතුටින් පිලිගෙන ඔවුන් පිටත්ව යනතුරු ඔවුන්ට ආදරයෙන් සලකනවා මම දුටිමි. ඒවා කවිපද බවට හරවන්නට දින කිහිපයක් ගතවිය.
කියවා රස විදින්න.ගුණ දොස් ගෙනහැර දක්වන්න.
අද සමාජයේ සියලුම අම්මවරුන් මැය වාගේ කියා විටෙක මට සිතෙයි.

 

 

මිණිකැට වගේ දරුවන් තිදෙනෙක් හදලා
ඇස් දෙක වගේ ආදරයෙන් ලොකු කරලා
උන් අද සිටින තැන් දැක හද තුටු වීලා
සතුටට ඇහැට කඳුලැලි ඉනුවද අම්මා

කැදැල්ල අතැර පියඹා යන පැට්ව් මෙනේ
දරුවන් දීග ගොස් ඇත අද සිදාදියේ
වෙනදා නැති දුකින් හිත බර විලාසෙනේ
ඇත්තට මූන දෙමු ඔහොමයි සසර අනේ

නිවාඩුවට ආවම දරුවන් ගෙදර
සලකනවා තාම උන් පොඩි සිතාගෙන
මහමෙර උසට තියෙනා දරු සෙනෙහසට
තව උපමා මොටද අම්මේ නුඹ මිසක

පිටවී යන්න දරුවන් දැන් සැරසෙන්නේ
දුක හංගගෙන ආශිර්වාදය දෙන්නේ
කඩුල්ල ලගට ගොස් පෙරමග බලමින්නේ
සෙත්කවි කියා දරුවන් හට සමුදෙන්නේ

දරුවන් ගැනම සිතලා ඇති වෙන්නැද්ද
යන තැනකට යමක් නුඹ කරගන්නැද්ද
පමා නොවී හනිකට ධෛර්යය ගන්න
ඉක්මනටම මේ සසරෙන් ගොඩ යන්න

-සගා-
25/07/2018

Advertisements

මේ සිතුවිලි මා හට පහල වූයේ පසුගිය දිනක නාවලපිටියේ සිට කොළඹ බලා දුම්රියෙන් පැමිනෙමින් සිටියදීය.කඩුගන්නාව සහ බලන අතර පොඩිමැණිකේ ඉදිරියට ඇදෙද්දී වම්පසින් උතුවන්කන්ද පැරණි අතීතය තුරුලු කරගෙන තේජාන්විතව ඉන්නා සෙයක් මට හැගිනි.
හිතට නැගුන සිතුවිලි අකුරු කරන්නට දින කිහිපයක් ගතවිය.කාර්‍යබහුලත්වයද, අමතකවීමදැයි මට නොවැටහේ. තවමත් කවි ලෝකයට සුහුඹුලෙක් වන මාගේ කවිපද ඔබට රසවිදීමට හැකිදැයි මම නොදනිමි.එහෙත් හිතට නැගෙන සිතුවිලි අකුරු කිරීම ඒවා සිතේ තබාගෙන සිටිනවාට වඩා සුදුසු යැයි මට හැගේ.

හටන් කොරලා බැරිම තැන
පර සුද්දන්ගෙ විලංගු වැටුනට
මම්මලේ…
තාම උතුවන්කන්ද පාමුල
බලාගෙන ඇති බං මේනකා

නඩුත් අහලා අච්චු කරලා
කොල නැති ගහට අපි දක්කයි ලගදීම
ඒත් උතුවන්කන්ද පාමුල
බලාපොරොත්තුව හිත තියාගෙන
මම්මලේ …
බලාගෙන ඇති බං මේනකා…

සගා
20/07/2018

වැරදීම

Posted: July 12, 2018 in Uncategorized

 

 

සුළඟ නුඹ වගේ
කිව්වෙ ඉස්සර
සුළඟ ගියෙ සුවද අරගෙන
නුඹ ගියේ මලේ පෙතිත් අරගෙන

අහස නුඹ වගේ
කිව්වෙ ඉස්සර
අහස කලු වෙලා වැස්ස වැටුනට
නුඹ ගියේ කලු වලා ඉතිරි කර සදහටම

ගලන දොල නුඹ වගේ
කිව්වෙ ඉස්සර
දොල ගලාගෙන ගියේ පාඩුවේ නිසොල්මන
නුඹ ගලාගෙන ගියේ දෙපස ගස් මුල් එක්ක

තාම හරියට අකුරු ගලපන්න
බැරි නිසා මගෙ පෑනට
ඒදවස්වල වැරදුනාවත්ද මට ?……

-සගා-
12/07/2018

සැප දුක

Posted: July 10, 2018 in Uncategorized

 

ආකහේ පැද්දෙන්නෙ
නූල් තියනකම්
විතරක් කියා
සරුංගලේ නොදන්නවා ඇති

සැපයක් විදින්නෙ
පින තියනකම්
විතරක් කියා
මිනිස්සු නොදන්නවා ඇති

-සගා-
10/07/2018

කර්මය

Posted: July 6, 2018 in Uncategorized

 

 

ගොඩක් දෙනෙක්

නොදන්නවා වාගෙ හිටියට
තමන්ගෙම
දෑවැද්ද වෙච්ච
ඉපදුන තැන වෙච්ච
නෑදෑයා වෙච්ච
පිළිසරණ කරගත්ත
කර්මයට   බෑ
අල්ලස් දීලා බේරෙන්න
-සගා-
06/07/2018