වෙනස

Posted: June 3, 2016 in Uncategorized

කබරගල අලියාගල කඳු පාමුල ඇත්තේ
වෙල්යායකි ගම ඇරඹුම දිස්වන්නේ
මහවැලි කොමලියගෙ ගමනට ඉඩ ඇත්තේ
බලන් සකි බලංතොට ගම දැන් තත්වේ

ඉස්සර තිබුනු වැල් පාලම දැන් නැත්තේ
යකඩින් සැදුව පාලම ගමනට ඇත්තේ
වැලි ගොඩ දාන මිනිසුන් ගඟ මැද නැත්තේ
උණ පාරුව තොටුපොල ලග ඇයි නැත්තේ

පීදෙන කුඹුරු අද වෙල් ඉපනැල්ල වෙලා
හරකුන් තණ බුදී රිසිසේ දිගා වෙලා
කමතක් දකින එක අද සිහිනයක් වෙලා
හානා හීයෙ අඬහැරයත් නතර වෙලා

-සාගා-

 

මිනිසුනේ…

Posted: June 2, 2016 in Uncategorized

තණ අග රැදුනු
පිනි බිඳක් නොතරම්
අස්ථිරයි මේ ජීවිතේ
එහෙව් දිවියක
කුමට දහසක්
පැතුම් පොදිබැද මිනිසුනේ
හැල්මෙ දුවනා තරඟෙ මදකට
නතරකොට හිද බලන්නේ
අප්‍රමාදී වීම විතරයි
රැකවරණයකට තියෙන්නේ

-සාගා-

අම්මා

Posted: June 2, 2016 in Uncategorized

මහමෙරක් තරමට
නිමක් නැති සෙනෙහස
සමුදුරක් තරමට
උතුරන කරුණාව
දුකේදී සැපේදී
ඇතිදා මෙන්ම නැතිදා
සැමදා ලගින් උන්
කෙනෙකු ඇතිනම්  මෙලොවේ
වීය ඇය නමින්
අම්මා………

-සාගා-

රතු රෝස පඳුරේ
තාම මල් පිපෙනවා
පිපෙන මල් දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

උදෑසන ගෙවත්තට
වළිකුකුලො ඇදෙනවා
රඟන උන් දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

කබරගල කඳු වැටිය
මීදුමෙන් වැසෙනවා
ඒ සිරිය දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

වත්ත මායිම දෙසින්
මහවැලිය ඇදෙනවා
ගං දියේ පීනන්න
මගෙ පැලට ඔබ එන්න

කඳු මුදුනෙ පන්සලේ
සමිදු වැඩ ඉන්නවා
මල් පුදන්නට යන්න
මගෙ පැලට ඔබ එන්න

රෑ නිදන යහනේ
තනිකමක් දැනෙනවා
තනිය නැති කරගන්න
මගෙ පැලට ඔබ එන්න

-සාගා-

මගතොටේදී ඇවිද යද්දි
ගියෝතින් නුඹ බිම බලන්
ඇහැක් වෙයි මට සේම අම්මට
ඇවිද යන්නට උඩ බලන්

ඒත් දෝනියෙ නොසැලකිල්ලෙන්
නුඹ ගියෝතින් උඩ බලන්
සිදුවන්නෙ බිම බලන් යන්නට
දුක් සුසුම් පොදි හිර කරන්

-සාගා-

ගල් ලෙනක් නොවුනාට
මේ විසල් මන්දිරය
ගල් ලෙනක් මට
ඇයි තාම නැත්තේ
කෝ මේ සිංහබාහු
හිරු නැගී එද්දිම
සිංහයා පිටවෙනව
ඇයි තාම නැත්තේ
කෝ මේ සිංහබාහු
එයි කියා සිතුවත්
හිතෙත් ඇත සැකයක්
සිංහයා නිදන්නේ
අනෙක් පැත්තට හැරිල

-සාගා-

එපා

Posted: May 13, 2016 in Uncategorized

වෙන්න නම් එපා
නුඹ
තවත් මනමේ කුමරියක්
අතීතයෙදී  මට මුන ගැසුන නිසා
මනමේ කුමරියක්
අසිපතෙන් ගෙල නොසිඳුනත්
ඊට වැඩියෙන්
රිදුම් දෙයි සිය දහස් වරයක්
ඒ නිසා
එපා වෙන්නට
තවත් මනමේ කුමරියක්…

-සාගා-