කාලෙකට ඉස්සරම කැණිමඩල හෙලවුනා
රැදෙන එක අනතුරක් බව හිතට වැටහුනා
ගිය අලුත් තැනට මට රැකවරණ තියනවා
ඒ වුනත් පොඩි බයක් නුඹ ගැනත් තියනවා

බිදුන කැණිමඩල නුඹ ගොඩගනී කියාලා
හිත් කොනක තිබුන පොඩි හීනයත් නැතිවුනා
අලුත් තැන නුඹට රැකවරණ බව දන්නවා
කියපු කැණිමඩල යට මට හෙවන තියනවා

-සගා-
13/01/2019

Quote  —  Posted: February 7, 2019 in Uncategorized

 

ගම්පෙරළියේ නන්දත්
නොකරන්න ඇති මේ තරම් පෙරළියක්
නුඹේ පෙරළිය පොතක කොහෙවත්
කවුරුවත් නොලියන්නැති

පියල් ද ජිනදාස ද
මම කවුද තාමත්
මටම වැටහෙන්නැති
වැඩවසම් යුගයක
දිවිය රළු වෙන්නැති

සඳමඩල වැසුනා මෙන්
කලු වලාකුළකින්
අදුරුවීය නුඹෙ සුදුවත
පිටවූ දා මම ගම්දොරින්
වෙළදාමට බැහර
ජිනදාස ගියත් එදවස
නන්දත් මෙහෙමදැයි
හිතුනා මටත් යන්තම

හිටියෙ නෑ නයෙක් පොළගෙක්
අඩුම තරමේ කුණකටුවෙක්
අහවර වෙලා වැඩපල
පැමිණියා නැවත ගම්දොර

ගම්පෙරළියේ නන්දත්
නොකරන්න ඇති මේ තරම් පෙරළියක්

ඒලෙවෙල් කලා පංතියේ
උන් තාම රසකරනවා ඇති
ගම්පෙරළියේ නන්දා , පියල්
එදා මාතර දිවිගෙවපු හැටි
පොතක නොලියූ නුඹේ පෙරළිය
උන් කිසිත් නොදන්නව ඇති…

-සගා-
12/11/2018

Quote  —  Posted: December 14, 2018 in Uncategorized

 

කියුබ් තුන හමාරේ
දෙසීය විසිහත ඉරක් විසිපහයි තිස් නවය
සතියකට පස් හය වතාවක් දහ අටේ දුවනවා
සුක්කානමට උඩින් ඇති
“රියදුරු දෑතට දෙවි පිහිටයි” බලාගෙන

හුන්නස්ගිරිය කපොල්ල කිට්ටුව
සියාතු මාමගෙ රොටී කඩයෙන්
රොටියයි ප්ලේන්ටියයි වැරදුනොත් කලාතුරකින්

ඉර මුදුන් වෙනකොට පාර දෙපැත්තේ
කපුටෝ ඉන්නවා කාකි සූට් ගහගෙන
බේරිලා ගියා නම් හාස්කමකින්මමයි
තිබුන පෙර පිනකට

කරගැට මල් පිපුනාට අත්දෙකේ
කර්කශ වුනාට ජීවිතේ
දරු පවුල දකිනකොට ඉර හැරෙන වෙලාවට
විඩාව පැනගිහින් හිතටත් හොරෙන්මම

උදෑසන පිටවෙද්දි මම
දීපංකරේ නොගියාට
කියනවා මගෙ අමල්බිසෝට
දරුවනුන් එක්කම
උඹ පරෙස්සමින් හිටපන් කියා

-සගා-
17/10/2018

Quote  —  Posted: October 18, 2018 in Uncategorized

ගැටඹේ පන්සල පසුවෙද්දී
හුනස්නෙන් නුඹ නැගිටිද්දී
ඉල්ලුවාදැයි එකම පැතුමක්
වැඩ සිටින බෝ සමිඳුගෙන්

මීට තුන් මාසෙකට ඉස්සර
පුවක් ගසකින් ගොඩැල්ලේ
බිමට පතබෑවෙච්චි හිමි සදු
ඇදක් උඩ මහ රෝහලේ

තාම උන්දැට සිහිය නැති එක
දන්නවා නුඹෙ හිතට වද බව
මහන්සිය ගැන හිතන්නැතිවම
එන්නෙ නුඹ කෑගල්ලෙ ඉදලම

දිවිය මරණය අතර සටනක
හිමි ඉන්නවා සිහිය නැතිවම
ඒක හින්දද හුස්ම ඔහුගේ
බාර දුන්නේ බෝ සමිඳුන්ට

-සගා-
01/10/2018

Quote  —  Posted: October 2, 2018 in Uncategorized

 

කවුරුත් දන්නා කියන
ප්‍රේමයේ නගරයේ
හතර කොන හොදින් අදුනන
නුඹ දන්නෙ නැතුවාද
ප්‍රේමයේ විරහව

අහස සිපගන්න මෙන්
නැගුන අයිෆල් කුලුන
පෙනුනාද නුඹටවත්
ප්‍රේමයේ විරහව

පසෙකින් ගලායන
සේන් ගං කොමලියේ
දැනුනාද දැවීයන
ප්‍රේමයේ විරහව

හැරගොසින් තවතැනක
නතරවුන ඇගේ සිත
තාම නොහදුනව ඇති
ප්‍රේමයේ විරහව

හැමදේම දැන උන්නු
සේන් ගඟ මෙන් කුලුන
හංගගෙන ඇති හිතේ
ප්‍රේමයේ විරහව…

-සගා-
15/09/2018

Quote  —  Posted: September 17, 2018 in Uncategorized

කාලෙකට ඉස්සර
මේ නුවර අහස යට
නුඹත් මමත් ඇවිද්දා හරි හරියට
පාරවල් ගැන හරියට නොදැනත්
අතරමං නොවී අපි ගියා මතකද

වැව රවුමෙ ගස් හෙවන
යට බංකුවේ වාඩිවී
වැව් ජලය පිස හමන
මුදු සුළග නුඹේ කෙහෙරැලිත් එක්ක
පොරබදන හැටි දිහා බලාගෙන හිටිය මම

ගොඩක් දවසට වැටුන
වැහි කෝඩ එක්කම
හිරිගඩු පිපී එන සීතල සුළගෙනුත්
බේරිලා ඇවිදින්න
තිබුන නුඹෙ පොඩි කුඩය

ගොඩක් දේ වෙනස් වුන
ඒ නුවර අහස යටම
වැස්සෙ මම ඉන්නවා
කුඩයකුත් නැතිවමම
වැව දිහා බලාගෙන

-සගා-
10/09/2018

Quote  —  Posted: September 14, 2018 in Uncategorized

 

කලාතුරකින් ලිපේ දැල්වෙන
ගින්දරට බැරිවුනා
අම්මගෙ සෙනේ පුච්චන්න
නියගෙන් පස්සෙ වැස්සට පිරුන
වැවේ වානට බැරිවුනා
අප්පච්චිගෙ සෙනේ මැඩලන්න

දුප්පත් නිසයි අක්කා ගියේ
වලව්වේ කුස්සියේ බත් තම්බන්න
මොකක්දෝ කරුමෙකට ඒකි ආයෙත් ආවෙ
කිරිසප්පයෙක් එක්ක
දෙවොලෙ දෙවියන් නොදැක්කා
කීවමත් හරි පුදුමයි
රතු තිරෙන් වැහිල උන්නු හින්දාම
දෙයියො කිසිදෙයක් නොදැක්කා වෙන්ටැති

වැස්සට කාලයට පෝසත් වෙච්ච
වැව් දියපත්ලේ හැංගිලා ගියා දවසක්
අක්ක පොඩි කෙල්ල එක්කම

ඒත් තාමත්….

ඇස්වලින් වැටෙන කඳුලට
බැරිවුනා අම්මගෙ සෙනේ පොඟවන්න
හිතෙන් හෙලනා ගැඹුරු සුසුමට
බැරිඋනා අප්පච්චිගේ සෙනේ හොලවන්න

-සගා-
04/09/2018

Quote  —  Posted: September 9, 2018 in Uncategorized

 

දවසම මහ මගට කැපකර
ඈත දුර ගමන ගෙවාගෙන
පළතුරු වට්ටියට උඩින් තැබි
මොනර කොල එක්කම
කපුරු දැල්වූ රුපියල් සීයේ
ලගටම ගිය පොල්ගෙඩිද අතැතිව
නොපෙනෙන දෙවියන්ට කන්නලව් කර
දෙවොලේ කොනක ඇති
පොල්ගසන තැනට විත්
මහා ආරූඩයෙන්
පොල් ගසන මිනිසුනේ
මොහොතකට සිතුනේ නැද්ද
කොහේ හරි වැරදිලා බව
හැල්මේ දුවන නුඹලාට….

-සගා-
26/08/2018

Quote  —  Posted: September 5, 2018 in Uncategorized

 

දැකලා නෑ ඇත්තමයි
උඹ වගේ සහෝදරයෙක්
හම්බෙන්නෙ නැතිත් වෙයි
උඹ වගේ සහෝදරයෙක්
ගෙවෙන මේ ජීවිතේටම
“හිතුමතේ ජීවිතේ”

-සගා-
18/02/2018

Quote  —  Posted: August 22, 2018 in Uncategorized

 

ලෝකෙම දිනුවා කියලා හිතුනද බං
හොයාපු සැනසුම ලැබුනා හිතුනද බං
ජීවිතේම ඒකිද කියලා දැනුනද බං
මටත් ඉස්සරම ඔහොමම හිතුනා බං

හංගපු දේවල් උඹටත් තිබ්බද බං
ඒගැන කියන්න මම නම් දන්නෑ බං
තේරෙයි කල්‍ යයි මොනව කරන්නද බං
එතකොට පරක්කු කියලා හිතේවි බං

හිටියා එකටම පස් අවුරුද්දක් බං
සිදුවුන දේවල් කියල වැඩක් නෑ බං
මොනව වුනත් එක දෙයක් කියන්නම් බං
කොල්ලෙක් හින්දා උඹ නම් හෙන පව් බං

-සගා-
14/08/2018

 

Quote  —  Posted: August 16, 2018 in Uncategorized